තඹුත්තේගම, රාජාංගණය මාර්ගයේ 03 කණුව බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් සහ ඊට යොදන පතොරම් 09ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. නිකවැරටිය කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු විසින් අදාළ ප්‍රදේශයේදී සැකකටයුතු යතුරුපැදියක් නවත්වා පරීක්ෂා කිරීමේදී මෙම අනාවරණය කරගෙන ඇත.
එහිදී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු සන්තකයේ තිබී රිවෝල්වර් පතොරම් 04ක් සොයාගෙන ඇති අතර, එම අවස්ථාවේදී යතුරුපැදියේ පැදිකරු එය එම ස්ථානයේම දමා පලාගොස් තිබේ.පසුපැදිකරු ද පරීක්ෂණය සිදුකළ පොලිස් නිලධාරියාගේ යතුරුපැදිය රැගෙන පලායාමට උත්සාහ කර ඇති නමුත්, එම උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ ඔහු ද එතැනින් පලාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි නිලධාරීන් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී එම ප්‍රදේශයේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එහිදී ආසන්න මාර්ගයක සැකකරුවන් විසින් අතහැර දමා ගොස් තිබූ විදේශීය නිෂ්පාදිත රිවෝල්වර් ගිනිඅවිය, තවත් පතොරම් 05ක් සහ ඔවුන් පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවමින් සිටියි.





