අග්බෝ හස්තියා නිතර ගැවසෙන අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමකදී අනවසර ගිනිඅවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගෙන තිබේ.

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම මෙන්ම අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගනිමින් මෙම වැටලීම සිදු කර ඇත.

ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මෙම මෙහෙයුම පුළුල් ලෙස ක්‍රියාත්මක කර තිබේ.

එහිදී වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන නීතිවිරෝධී ගිනිඅවි, බඳින තුවක්කු, හක්කපටස්, මදු සහ වෙඩි බෙහෙත් තොගයක් ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇත.

වන අලි ඇතුන් දඩයම් කිරීම සහ ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී ක්‍රියාකාරකම් දැඩි ලෙස මැඩපැවැත්වීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ හරහා කලාපය තුළ අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීමට සහ වනජීවී සම්පත සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අදාළ අංශ පෙන්වා දෙයි.