ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක් වූවත් ප්‍රකාශයට පත් කළ මූල්‍ය ත්‍යාගය එලෙසම ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඕනෑම තරගාවලියකදී එවැනි ජයග්‍රහණයක් ලබාගතහොත් ත්‍යාග මුදල ලබාදීමට හැකි වන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය. ක්‍රීඩකයන් ජයග්‍රහණය කළම පසුව පමණක් ත්‍යාග මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය පසුබිමක් සකස් කිරීම වැදගත් බවට විශ්වාස කරන බව ඔහු අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පාසල් ක්‍රීඩකයින් 1,900කට පමණ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවයි. ඉදිරියේදී විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වා විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයින්ට පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිටත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට එවැනි පුහුණුවීම් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.