2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.

ඕනෑම වරදක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පූර්ණ, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් කිසිවෙකු ප්‍රශ්න නොකරන නමුත් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ කාලවකවානුව අතිශයින් කැපී පෙනෙන බව ඔහු පෙන්වා දෙයි. අයවැය පිළිබඳව වෘත්තීය සමිති අප්‍රසාදය පළ කරමින් සහ අසාධාරණකම්වලට එරෙහිව සංවිධානය වෙමින් සිටින මොහොතක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

පැවති රජයන්ට එරෙහිව වසර ගණනාවක් පුරා විරෝධතා සහ වැඩවර්ජනවල පෙරමුණ ගත් දේශපාලන ව්‍යාපාරයක් අද තමන්ට එරෙහිව එවැනිම හඬක් නැගෙන විට නොසන්සුන් වී ඇති බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා, විරුද්ධ මතධාරීන් බිය ගැන්වීමට හෝ නිහඬ කිරීමට වගවීම කඩතුරාවක් කර නොගත යුතු බවටද වැඩිදුරටත් අවධාරණය කර ඇත.