2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය සැලසුම් කිරීම සහ මෙහෙයවීම සඳහා මුල් වූ හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වන සමීර් අබු යූනිස් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන අල් කසාම් බලකාය නිවේදනය කර ඇත්තේ 53 හැවිරිදි වියේ පසුවූ අබු යූනිස් ඊයේ (15) දින එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මියගිය බවයි.

හමාස් සංවිධානයේ රෆා බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ඔහු, 1991 වසරේදී එම සන්නද්ධ අංශයට එක්වී ඇති අතර, රෆා ප්‍රදේශයේ විවිධ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් තනතුරු හෙබවීමෙන් පසු අදාළ බළකායේ අණදෙන නිලධාරියා තනතුරට පත්ව ඇත.

මියගිය අබු යූනිස්ගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ ඛාන් යූනිස්හිදී සිදුකිරීමට නියමිත බව හමාස් සංවිධානය සඳහන් කරයි.

ගාසා තීරයේ පසුගිය වසරේ (2025) ඔක්තෝබර් මාසයේදී සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව එල්ල වීම සහ හමාස් සංවිධානය නිරායුධ කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ.

අදාළ සටන් විරාම කාලසීමාව තුළ මේ දක්වා අවම වශයෙන් පලස්තීනුවන් 1,600කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ඊශ්‍රායල සෙබළුන් පස්දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අංශ වාර්තා කරයි.