ලාෆ්ස් ගෑස් මිල හදිසියේ ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නියෝජිතයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබේ. ඒ අනුව, අදාළ කරුණු දැක්වීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයන් පිරිසක් අද (16) පෙරවරු 10ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණියහ.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ නැංවීමට පියවර ගනු ලැබීය. ඒ අනුව, මෙතෙක් රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ යාම හේතුවෙන් එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියේය. එපමණක් නොව, රුපියල් 1,988ක්ව තිබූ කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720ක් ලෙස දැක්වේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් මෙන්ම නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෑස් තොග ගෙන්වීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. මෙම පිරිවැය ඉහළ යාම පියවා ගැනීම සඳහා මිල සංශෝධනය කිරීමට සිදුවූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.