සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පලතුරු ඉදවීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද නව කුටීරයක් අනුරාධපුර නගරයේදී නිල වශයෙන් විවෘත කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නංවා ඇති අතර, අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරිණි.

පලතුරු ඉදවීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතය පුළුල් කිරීම සහ පාරිභෝගික ජනතාවට උසස් තත්ත්වයේ ගුණාත්මක පලතුරු ලබාදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ. ඉදිරියේදී මෙබඳු සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රමවේද දිවයින පුරා හඳුන්වා දීමට කටයුතු සැලසුම් කර ඇති අතර, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මඟින් ආහාරවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම, ප්‍රමිති සහතික නිකුත් කිරීම ඇතුළු පර්යේෂණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම උත්සව අවස්ථාවට සමාන්තරව ප්‍රදේශයේ පලතුරු වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ පහසුව සඳහා පලතුරු ප්‍රවාහනයට අවශ්‍ය කූඩා බෙදාදීමක්ද සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත නවරත්න සහ සේන නානායක්කාර මහත්වරුන් මෙන්ම ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.