හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් හොරොව්පොතාන පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් සැප්තැම්බර් 24 වැනි දින ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. ඒ හරහා සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම මරණය සැලසුම් සහගත ඝාතනයක් බවට තහවුරු වී තිබේ.

ඒ අනුව, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන 17 හැවිරිදි තරුණියක් සහ 23 හා 26 හැවිරිදි වියෙහි පසුවන තරුණයන් දෙදෙනෙකු ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ තිදෙනාම එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.