ආනයනකරුගේ හෝ වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ නිසි තොරතුරු ඇතුළත් කර නොමැති ජංගම දුරකථනයක් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුරකථන අලෙවි සමාගමකට රුපියල් 100,000ක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී අදාළ ජංගම දුරකථනය අලෙවිය සඳහා සූදානම් කර තිබියදී සොයාගෙන ඇත.

එහි ආනයනික රට, ආනයනකරුගේ හෝ වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ නම, ලිපිනය මෙන්ම අත්‍යවශ්‍ය සම්බන්ධතා තොරතුරු කිසිවක් සඳහන් කර නොතිබීම පාරිභෝගික පනත උල්ලංඝනය කිරීමකි. ඒ අනුව, 2022 ජුනි 29 වැනි දින නිකුත් කරන ලද අංක 2286/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 85 කඩ කිරීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය නොවැම්බර් 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.