පරිශීලකයින්ගේ නිසි දැනුවත් කිරීමකින් හෝ අවසරයකින් තොරව ඔවුන්ගේ ජංගම දුරකථනවල ගබඩා කර ඇති ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගමට යුරෝ මිලියන 805ක (අමෙරිකානු ඩොලර් මිලියන 887කට ආසන්න) දැවැන්ත දඩ මුදලක් ගෙවන ලෙස ඉතාලි බලධාරීන් නියෝග කර තිබේ.
මෙය ඉතාලි නියාමන අධිකාරියක් විසින් තාක්ෂණික සමාගමකට පැනවූ විශාලතම දඩ මුදල් අතරට මෙය එක්වන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ෆේස්බුක් යෙදුමේ අන්තර්ගත විශේෂාංගයක් හරහා ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන භාවිත කරන මිලියන 20කට අධික පිරිසකගේ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ වෙත සමාගම ප්‍රවේශ වී ඇති බව ඉතාලියේ දත්ත ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.
පරිශීලකයින්ගේ දුරකථනවල ඇති දෘශ්‍ය දත්ත මත පදනම්ව ෆේස්බුක් වෙත පළ කළ හැකි අන්තර්ගතයන් සඳහා යෝජනා සකස් කිරීම මෙම පහසුකමේ අරමුණ වී ඇත. එහෙත්, ඡායාරූප ගබඩාව වෙත ප්‍රවේශ වීමට අවසර ඉල්ලීමේදී එම දත්ත වෙනත් අරමුණු සඳහා භාවිත වන බවට පරිශීලකයින්ට පැහැදිලිව දන්වා නොමැති වීම මෙම ගැටළුවට මුල් වී තිබේ.
මෙම තත්ත්වය සලකා බලා අදාළ පහසුකම පෙරනිමියෙන් අක්‍රිය කර පරිශීලකයින්ගෙන් සුවිශේෂී අවසරයක් ලබා ගැනීමට මෙටා සමාගමට දින 60ක කාලසීමාවක් ලබා දී ඇත. කෙසේ වෙතත්, ඉතාලි බලධාරීන්ගේ මෙම තීරණය සහ නීතිමය අර්ථකථනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන මෙටා සමාගම ප්‍රකාශ කර ඇත්තේ, අදාළ දඩ මුදලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පරිශීලකයින්ට පහසුවෙන් අන්තර්ගතයන් බෙදාහදා ගැනීමට සකස් කළ සාමාන්‍ය පහසුකමක් මෙලෙස දඩයකට ලක්වීම අසාධාරණ බව එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.
