ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය අද (15) දිනය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අද උදෑසන වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ මෙම අඩු පීඩන පද්ධතිය, දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඇත.
මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දවස පුරාම දිවයිනේ අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති වීමේ හැකියාව පවතී. මීට අමතරව බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වාර්තා විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද දන්වා සිටියි.




