නකල්ස් ප්‍රදේශයෙන් අනාවරණය වූ වයස අවුරුදු 15ක දැරියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු බිළිඳෙකු සමඟ හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

අදාළ දැරියගේ සහ බිළිඳාගේ අනාගත යහපැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශ්වයෙන් සිදුකළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් හා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත දැනුම් දී ඇති බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.මවක් ලෙස තමාට ද මෙම පුවත අතිශයින් කම්පනකාරී වූ බව පෙන්වා දෙන අමාත්‍යවරිය, මෙය හුදෙකලා සිදුවීමක් ලෙස නොසලකන බව අවධාරණය කරයි.

වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලනික සංකීර්ණතා මෙන්ම පවුල් තුළ මව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාව හා සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහී යාම මෙවැනි අනාරක්ෂිත තත්ත්වයන්ට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව ඇය පෙන්වා දෙයි. කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන් තුළ “මව්පියන් ළඟ තමන් සුරක්ෂිතයි” යන විශ්වාසය ගොඩනැගීමට පවුල් පරිසරය තුළ විවෘත සංවාදයක් ඇති කිරීමේ වැදගත්කම ද ඇය පෙන්වා දී තිබේ.

මෙවැනි සමාජීය ගැටලු සහ අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන විසඳුමක් ලෙස 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය මේ වන විටත් සැලසුම් කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු මූලික කටයුතු සිදුකළමින් පවතින බවත්, දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් බැවින් රටේ දරුවන් සම්බන්ධයෙන් වඩාත් සංවේදීව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.