අග්බෝ හස්තියා නිතර ගැවසෙන තිරප්පනේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන විශේෂ ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ඊයේ (14) එම ප්‍රදේශයට ගියහ.
ගල්කුලම, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම මෙන්ම කුට්ටිමඩුව ඇතුළු ගම්මාන සහ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ ප්‍රගතිය අමාත්‍යවරුන් විසින් සියැසින් නිරීක්ෂණය කරනු ලැබීය.
අලි-මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමක් ගෙන ඒමටත්, වන අලි සම්පත මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙවැනි මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශයින් වැදගත් වන බව ද ඔහු අවධාරණය කළේය.
පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණු මෙම විශේෂ මෙහෙයුම සඳහා 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.
21 වන සේනාංකාධීපති මේජර් ජෙනරල් කමින්ද සිල්වා සහ 212 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රම සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදාන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සංවිධානය කර තිබුණි. යුද හමුදා නිලධාරීන් 75 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියහ.




