අභ්‍යවකාශ තාක්ෂණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SpaceX සමාගම සිය දැවැන්ත Starship රොකට්ටුවේ ඉහළ කොටස පෘථිවියට යළි පැමිණීමේදී සාර්ථකව අල්ලා ගැනීමට සමත්ව තිබේ. අභ්‍යවකාශ ගමනකින් අනතුරුව රොකට්ටුවේ ඉහළ කොටස වන ‘ෂිප්’ (Ship) යානය, දියත් කිරීමේ කුළුණේ සවි කර ඇති විශේෂ යාන්ත්‍රික අත් මඟින් අල්ලාගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි SpaceX දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී ඊයේ (14) පස්වරු 3.20ට පමණ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. නියමිත වේලාවට වඩා සුළු ප්‍රමාදයකින් පෘථිවියට ළඟා වූ රොකට්ටුවේ ඉහළ කොටස, ‘චොප්ස්ටික්ස්’ (Chopsticks) ලෙස හැඳින්වෙන දැවැන්ත යාන්ත්‍රික අත් මඟින් ඉතා ආරක්ෂිතව ග්‍රහණය කරගැනීමට සමත් වී තිබේ.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා එක්ව සිටි පිරිස දැඩි සතුට පළ කළ අතර, සජීවී විකාශනයේදී ද මෙහි වැදගත්කම දැඩි ලෙස ඉස්මතු කෙරිණි.
කෙසේ වෙතත්, මෙම අත්හදා බැලීමේදී රොකට්ටුවේ පහළ සහ ඉහළ කොටස් දෙකම එකවර යළි අල්ලා ගැනීමට මුලින් සැලසුම් කර තිබුණද, සිකුරාදා (13) සිදුකළ දියත් කිරීමෙන් පසු පහළ කොටස වන Super Heavy Booster යානය අල්ලා ගැනීමේ උත්සාහය අත්හැර දැමීමට සිදුවිය.
ඒ අනුව එම කොටස මුහුද දෙසට ගමන් කරවූ අතර, මුහුදු මට්ටමට ආසන්න වන විට එය ගිනිගෙන විනාශ වී ඇත. කෙසේ වෙතත්, ඉහළ කොටස මෙලෙස සාර්ථක ලෙස ගොඩබා ගැනීමට හැකි වීම සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි රොකට් පද්ධතියක් තැනීමේ SpaceX සමාගමේ දිගුකාලීන අපේක්ෂාවට මහත් රුකුලක් වනු ඇත.
