ලෝක ප්‍රකට ලන්දේසි චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන් ගෝ (Vincent van Gogh) විසින් නිර්මාණය කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 180ක දැවැන්ත වටිනාකමකින් යුත් සිතුවමක් වෙන්දේසි කිරීමට නියමිතව තිබියදී එහි අයිතිය සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබේ.

‘Châtaigniers en Fleurs’ හෙවත් ‘Blossoming Chestnut Trees’ ලෙස නම් කර ඇති මෙම කලා කෘතිය ලබන සතියේ නිව්යෝර්ක් නුවරදී සුප්‍රකට සෝතිබීස් (Sotheby’s) වෙන්දේසි ආයතනය මඟින් අලෙවි කිරීමට සූදානම් කර ඇත.

කෙසේ වෙතත්, මෙම සිතුවමේ අතීත හිමිකරුවන් වූ ජර්මනියේ ෆිෂර් (Fischer) පවුලේ උරුමක්කරුවන් පවසන්නේ නාසි පාලන සමයේ උද්ගත වූ තත්ත්වය සහ ඇති වූ මූල්‍ය පීඩන හේතුවෙන් අදාළ සිතුවම විකිණීමට ඔවුන්ට බලපෑම් එල්ල වූ බවයි. ඒ අනුව, සිතුවමේ ඓතිහාසික හිමිකාරිත්වය සහ එය අලෙවි කළ ආකාරය පිළිබඳව බරපතළ නීතිමය ගැටලුවක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝතිබීස් ආයතනය සඳහන් කරන්නේ සිතුවමේ හිමිකාරිත්ව ඉතිහාසය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ඇති නමුත්, එය නාසි පාලන සමයේ බලපෑම් මත අලෙවි කළ බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි ලැබී නැති බවයි. එසේ වුවද, ෆිෂර් පවුලේ උරුමක්කරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් දෙපාර්ශ්වයටම එකඟ විය හැකි සාධාරණ විසඳුමකට පැමිණීමට බලාපොරොත්තු වන බව එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.