අමෙරිකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනය කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මියයන විට 66 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බව සඳහන් වේ.

ඩාර්චියෙව් මහතාගේ අභාවය පිළිබඳ නිවේදනය නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය ඔහු ‘සුවිශේෂී වෘත්තීයවේදියකු’ ලෙස හඳුන්වා දී ඇත.

එමෙන්ම ඔහු රුසියානු විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම අභියෝගාත්මක ක්ෂේත්‍රයක සේවය කළ අයෙකු බවත්, ඔහුගේ පවුලේ අයට සහ හිතවතුන්ට බලවත් ශෝකය පළ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස සැලකෙන ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මහතා 2025 වසරේ මාර්තු මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් වොෂින්ටනයේ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

තානාපති ධුරයට පත්වීමට පෙර ද ඔහු රුසියානු විදේශ අමාත්‍යාංශයේ තනතුරු කිහිපයකම සේවය කර තිබේ.