එක්සත් ජනපදය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් යළිත් කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගතහොත්, යුරෝපයේ මෙන්ම ඈත දූපත්වල ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු වෙත ද ඍජු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි අනතුරු ඇඟවීමක් කර ඇති බව lankacnews.com වෙබ් අඩවිය වාර්තා කරයි.

ලෙබනනයේ ක්‍රියාත්මක අල්-මයදීන් නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

භූගෝලීය සීමාවකින් තොරව ඕනෑම ස්ථානයකට පහරදීමට ඉරාන සන්නද්ධ හමුදාවන්ට උපදෙස් ලැබී ඇති බව සඳහන් කර ඇති රෙසායි, බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව සහ ඇල්බේනියාව යන රටවල පිහිටි අමෙරිකානු සහ නේටෝ කඳවුරු මෙන්ම ඉන්දියන් සාගරයේ පිහිටි බ්‍රිතාන්‍ය-අමෙරිකානු ඒකාබද්ධ ‘ඩියාගෝ ගාර්සියා’ යුද කඳවුර ද ඉරානයේ ඉලක්ක අතර පවතින බව ප්‍රකාශ කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ අතර, කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවටත්, තමන් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමුවීමට සැලසුම් කර ඇති බවටත් පළවන වාර්තා ඔහු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම ඇතුළු කොන්දේසි 07ක් ඉටු වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.