ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3,000කට අධික තොගයක් රැගත් ‘GAS GOODWILL’ නෞකාව අද (12) මෙරටට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම නිවේදනය කරයි.

පසුගිය කාලයේ පැවති සැපයුම් බාධාවන්ගෙන් අනතුරුව, මෙම නව ගෑස් තොගයත් සමඟ ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගිකයන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර සැපයීම අදියරෙන් අදියර යළි ආරම්භ කිරීමට සමාගම පියවර ගෙන තිබේ.

නෞකාවෙන් ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව සිලින්ඩර පුරවා බෙදාහරින්නන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලාෆ්ස් ගෑස් ලබාගැනීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

පසුගිය කාලයේ ගෑස් ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දුන් අපහසුතා පිළිබඳව සිය කනගාටුව පළ කරන ලාෆ්ස් ගෑස් කළමනාකාරිත්වය, අලෙවිසැල් වෙත පැමිණීමට පෙර ළඟම ඇති බලයලත් අලෙවි නියෝජිතයා අමතා හෝ 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තම ප්‍රදේශයේ ගෑස් තොග පවතින්නේ දැයි විමසා බලන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.