මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.
ආර්ථික ස්ථායීකරණ අදියරේ සිට පරිවර්තනීය ආර්ථික වර්ධන යුගයක් කරා රට මෙහෙයවීම මූලික අරමුණ කරගත් මෙම අයවැය මඟින් රාජ්‍ය සේවක දීමනා ඉහළ නැංවීම, බදු ලිහිල් කිරීම් සහ සංවර්ධන ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම අයවැය යටතේ මෙතෙක් පැවති මසකට රුපියල් 150,000ක බදු නිදහස් සීමාව රුපියල් 162,500 දක්වා ඉහළ නංවා ඇති අතර, අධ්‍යාපන ක්ෂේත්රය දිරිගන්වමින් පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර කථා සහ අභ්‍යාස පොත් මත පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
එසේම, පාරිභෝගික ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමේ අරමුණින් ආනයනික සහන රැසක් ද හඳුන්වා දී ඇත.
රාජ්‍ය සේවක සුභසාධනය වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ, හෙද හා අතුරු වෛද්‍ය නිලධාරීන්ගේ මෙන්ම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා සහ දෛනික සලාක ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව, කොළඹ තදාසන්න දුම්රිය මාර්ග විදුත්කරණය, මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීම, පාසල් ඩිජිටල්කරණය සහ පිරිසිදු පානීය ජල සම්පාදනය සඳහා අතිවිශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බව අයවැය යෝජනාවල සඳහන් වේ.
