වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන පසුබිමක, එය නොමැති අයට නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් අවස්ථාව සලසා දී ඇති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
TIN අංකයක් ලබාගෙන සිටියද ඉන් අදහස් වන්නේ සියලු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බවක් නොවන බව ඔහු අවධාරණය කළේය.
මෙරට වයස අවුරුදු 18ට වැඩි ජනගහනය මිලියන 13ක් පමණ වන අතර, මේ වන විට මිලියන 1.2ක පමණ පිරිසක් සඳහා ආදායම් බදු ගොනු විවෘත කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
2026 නොවැම්බර් 01 වැනිදා සිට ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇත.
කෙසේ වෙතත්, නව බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ වාහන ලියාපදිංචි කිරීමේදී TIN අංකය සම්බන්ධයෙන් ඇතැම් ගැටලු මතු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම ගැටලු නිරාකරණය සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ ආයතන වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව කියා සිටියේය.
විශේෂයෙන්ම නව බැංකු ගිණුමක් විවෘත කිරීමේදී TIN අංකයක් නොමැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත සහ මූලික තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ගිණුමක් විවෘත කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස බැංකු පද්ධතියට උපදෙස් ලබා දී ඇත.
එසේම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී ද ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් අදාළ කටයුතු සිදු කර ගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගෙන ක්‍රමානුකූලව TIN අංකය ලබා ගැනීමටත්, අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.





