ළමයින්ගේ ආරක්ෂාව එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව, රටේ සංවර්ධන, යහපාලන සහ සමාජ සාධාරණතා රාමුව තුළ ඇතුළත් ජාතික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (23) දින කොළඹදී ආරම්භ වූ දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ (EVAC) සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ සෑම දරුවෙකුටම ආරක්ෂිත වටපිටාවක අධ්‍යාපනය ලබමින් තම හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම සමාජයේ වගකීමක් බවයි. පාසල් ඉගෙනුම් කටයුතු සඳහා පමණක් සීමා නොවී, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන, මනෝසමාජීය සහාය ලබාදෙන සහ අවදානම් තත්ත්වයන් කල්තියා හඳුනාගන්නා ආරක්ෂිත පරිසරයන් ලෙස ශක්තිමත් කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

ළමා ආරක්ෂාවට අදාළ අභියෝග ජාතික සීමා ඉක්මවා යන බැවින් ඒවාට විසඳුම් සෙවීම සඳහා කලාපීය සහයෝගීතාව, අත්දැකීම් හුවමාරුව සහ සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.