පොදු ප්‍රවාහන සේවාව ආරක්ෂිත හා කාර්යක්ෂම කිරීමේ ජාතික වැඩසටහන යටතේ බස් රියදුරු හා කොන්දොස්තරවරුන් සඳහා අහඹු ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් අද (23) මහරගම නාවින්න බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් සංවිධානය කළ මෙම පරීක්ෂාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස්රථවල සේවයේ නියුතු රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල ලබාගෙන පරීක්ෂා කරනු ලැබීය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී ජේ.එම්. ලයනල් මහතා පැවසුවේ පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පුද්ගලයන් 200 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 13 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වූ බවයි.

මේ අතර, 2026 ජනවාරි සිට ජූනි 12 දක්වා කාලය තුළ රියදුරු හා කොන්දොස්තරවරුන් 4,322 දෙනෙකු ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 226 දෙනෙකු අයිස්, හෙරෝයින්, ගංජා සහ බාර්බිටියුරේට් වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කළේය.