මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරයි.
පුරවැසියෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව සිදු කළ මූලික විමර්ශනයකදී වත්කම් ප්‍රකාශවලට අදාළව මතු වූ කරුණු සම්බන්ධයෙන් මෙලෙස වැඩිදුර සොයා බැලීමට නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.
ආණ්ඩුවේ නියෝජිතයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් මෙලෙස විමර්ශනයට ලක්වීම, තරාතිරම නොබලා අල්ලස හා දූෂණය පිළිබඳ සොයා බැලීමට ඇති ඉඩකඩ පෙන්නුම් කරන සාධනීය පියවරක් ලෙස සැලකිය හැකිය.
පසුගිය ආණ්ඩු සමයන්හි දේශපාලන බලපෑම් පිළිබඳව මතු වූ විවේචන පසුබිමේ, අල්ලස් කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අවකාශය පිළිබඳ අපේක්ෂාවක් ද මෙම ක්‍රියාමාර්ගය තුළින් මතු වේ. එම ස්වාධීනත්වය තහවුරු කරමින් විමර්ශනය විනිවිද පෙනෙන ලෙස ඉදිරියට ගෙන යාම වැදගත්ය.





