මාදැල් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු සඳහා විද්‍යාත්මක හා තිරසාර විසඳුමක් ලබාදීම සඳහා වසරක කාලයක් අවශ්‍ය බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්දසේකර් අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ විද්‍යාත්මක ඇගයීම්වලින් තොරව ගනු ලැබූ තීරණ හේතුවෙන් මාදල් කර්මාන්තය අද බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බවයි.

නීති විරෝධී ලෙස ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතය පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් සිදු කර ඇති බවත්, මාදල් කර්මාන්තයේ නියුතු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ එකඟතාවයද ඇතිව විසඳුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

“මෙය මාස දෙකකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. විද්‍යාත්මක පදනමක් මත තිරසාර විසඳුමක් ලබාදීමට වසරක කාලයක් අවශ්‍යයි,” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙරළ තීරයට හා සාගර පරිසරයට හානි සිදුකරන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට ඉඩ නොදෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා, අනාගත පරපුර වෙනුවෙන් සාගර සම්පත් ආරක්ෂා කරමින් ධීවරයන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදීමට රජය කැපවී සිටින බවද ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>>