ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීමේ අවස්ථාව අද (04) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී පවත්වන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේද සහභාගීත්වයෙනි.
ඔහු පැවසූයේ මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත පැවරීම සඳහා එක්සත් ජනපද රජය ගත් තීරණය, ආරක්ෂිත, ස්ථාවර සහ තිරසාර සමුද්‍රීය කලාපයක් ගොඩනැගීම සඳහා අප දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබිඹු කරයි.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සහ කලාපය මුහුණ දෙන බරපතළ අභියෝගයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා මෙම නෞකාව අතිශයින් වැදගත් සම්පතක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදී.
“සමුද්‍රවිජය” නෞකාවේ නාවික ධජය ඔසවන මෙම ගෞරවනීය අවස්ථාවේදී, එහි අණදෙන නිලධාරීවරයාට සහ කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්ප්‍රදායන්ට අනුකූලව, අපගේ සමුද්‍රීය ස්වෛරීභාවය රැක ගැනීමටත්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඉන්දියානු සාගර කලාපයේ සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමටත් විශිෂ්ට සේවාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනපති සඳහන් කරන ලදී.





