2026 ජගත් පරිසර දින ජාතික උත්සවය අද (05) අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු” යන්න මෙවර සැමරුමේ තේමාව විය.

මෙම අවස්ථාවට සමගාමීව, මැයි 30 සිට ජූනි 05 දක්වා දිවයින පුරා “Clean Sri Lanka” වැඩසටහන යටතේ විවිධ පාරිසරික වැඩසටහන් සංවිධානය කර තිබුණි.
රාජ්‍ය, පෞද්ගලික හා ස්වේච්ඡා සංවිධාන රැසක් මෙම වැඩසටහන් සඳහා දායකත්වය ලබා දුන් බවත් සඳහන් කෙරිණි.

උත්සවය සමරන අවස්ථාවේදී රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එමෙන්ම, ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ නවීන කර හඳුන්වා දීම, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් ලෙස නම් කිරීම, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත සහ කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත ලෙස ප්‍රකාශ කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමගාමීව “සොබා” පාරිසරික සඟරාව 2026 පළමු කලාපය, “සොබා කෙත” සඟරාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ සම්පත් පොත එළිදැක්වීමත් සිදු විය.

මෙවර ජාතික සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය ජනාධිපතිවරයා වෙත ලබා දුන් අතර, දේශගුණික විපර්යාස අංශය සංවිධානය කළ චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහ මධ්‍යම පරිසර අධිකාරිය පවත්වන නව නිපයුම් තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානයට ජනපති එක්විය.