නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසර සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අද (29) දින අතුරුගිරියේ ගුණසේකර විද්‍යාලයේ දී ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙනි.
මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බවත් එම දරුවන්ව කිසිවිටෙකවත් අතහැර නොයන බවත් මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වසරින් වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද කියා සිටියාය.
වැඩිදුරටත් එතුමිය පැවසූයේ ‘සිහින පාසලක්’ කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් වන අතර එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවත් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ගුණධර්මවලින් හා සහකම්පනයෙන් යුතු සිසු පරපුරක් බිහිකරන බවත් දරුවන් ඔසවාගෙන යන පොත් බෑගයේ බර අඩුකිරීමෙන් ආරම්භ කරන මෙම වැඩපිළිවෙල පීඩනයෙන් තොරව ඉගෙන ගැනීමට අවශ්‍ය වටාපිටාවක් සකස් කිරීමට දායක කරගන්නා වගද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පවසන ලදී.
එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දරුවන් උදෙසා සහ ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව සිදුකල ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැකිය.






