නිකවැරටිය ඓතිහාසික ගනේවැව පුරාණ විහාරස්ථානයේ ‘2026 වෛශාඛ්‍ය මංගල්‍යය’ අද (29) දින පැවැත් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

විනාශකාරී දිශාවට ගමන් කරමින් සිටින අනාගත පරපුර ඉන් මුදාගෙන ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අභියෝගය රජයක් ලෙස භාරගෙන සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිය, බලය සහ ආයතන පද්ධතිය සකස් කිරීමට කටයුතු කරන බවත් ජනපති මෙහිදී සඳහන් කරන ලදී.

ආගමික ප්‍රබෝධය මගින් තරුණ පරපුරේ අධ්‍යාත්මික සංවර්ධනය අත්පත් කරගත යුතු බව පෙන්වා දුන් අතර එහිදී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බව ප්‍රකාශ කළ ඔහු,
වත්මන් සමාජය තුළ ඇති වටිනාකම් සැබෑ වටිනාකම් නොවන බවත්, රටට නව හර පද්ධතියක් සහ වටිනාකම් පද්ධතියක් හඳුන්වා දිය යුතුව තිබෙන බවත් මෙහිදී පෙන්වා දෙමින් සියලු සංස්කෘතින්ට සහ අනන්‍යතාවන්ට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක අවශ්‍යතාවද අවධාරණය කළේය.

අනාගත සමාජයේ නිර්මාපකයා වන වත්මන් තරුණ පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැඟීමේදී තරුණ භික්ෂුන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් ඉටු කරනු ලබන ශාසනික සහ සමාජීය මෙහෙවරද මෙහිදී ජනපති විසින් ඇගයීමට ලක් කළේය.