ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra), අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ සාකච්ඡාවක් අද (29) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවත්, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳවත් අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්රතත්ත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර පවතින සබඳතා වැඩි දියුණු කිරීමෙහි සහ දෙරටේ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කළ අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වත්මන් සාර්ථක පියවරයන් මෙන්ම ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාත්මක සැලසුම් ගත වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යවරයා කරුණු දක්වන ලදී.
මෙහිදී තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය, කියුබානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක වූ මදුරු පාලන ව්‍යාපෘති, ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ දැනුම ලබාදීම මෙන්ම ඖෂධ සහ එන්නත් නිෂ්පාදන කටයුතු ද මෙරට සිසුන්ට කියුබාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම මෙන්ම ශිෂ්‍යත්ව ආදී ක්ෂේත්රයන් හි නව ප්රවේශයන් පිළිබඳව දීර්ඝව අදහස් දැක්වූවාය.
සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්ත සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් කටයුතු කරන බව ද ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) මෙහිදී ප්‍රකාශ කළාය.





