සෞඛ්‍ය කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (04) මරදාන ටවර් හෝල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන ලද්දේ, මෙම බඳවා ගැනීම කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් යටතේ සිදු කළ බවය.
බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත මෙම පිරිස අනුයුක්ත කිරීමට නියමිතය.
අමාත්‍යවරයා පැවසුවේ, අතීතයේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් බොහෝ අවස්ථාවල දේශපාලන බලපෑම් මත සිදුවූ බවත්, වත්මන් රජය එම ක්‍රමවේදය වෙනස් කර සුදුසුකම් හා විනිවිදභාවය මත පදනම් වූ බඳවා ගැනීම් ක්‍රියාත්මක කරන බවත්ය.
මෙම තනතුරු සඳහා පසුගිය වසරේ පළ කළ දැන්වීමට අයදුම්පත් 91,473ක් ලැබී ඇති අතර, සුදුසුකම් ලත් අයදුම්කරුවන් අතරින් පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකු තෝරාගෙන තිබේ.
නව බඳවා ගැනීම් හරහා රෝහල් පද්ධතියේ මානව සම්පත් හිඟය අවම කර රෝගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





