සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රකාශන නිදහසට වඩා අන් අයගේ අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුසිත අබේසේකර පවසයි.

ඔහු සඳහන් කරන ලද්දේ, තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබුණද, එම අයිතිය භාවිත කළ යුත්තේ වෙනත් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකුගේ සියදිවි නසාගැනීමක් සජීවීව ප්‍රචාරය වූ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි සංවේදී සිදුවීම් ප්‍රචාරය කිරීම සදාචාරාත්මකව මෙන්ම නීතිමය වශයෙන්ද වැරදි ක්‍රියාවක් බවය.

පුද්ගලයෙකුගේ ජීවිතය, පෞද්ගලික තොරතුරු, පවුල් ගැටලු හෝ සංවේදී දත්ත ඔහුගේ අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම බරපතළ වරදක් බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ මහජන යහපැවැත්මට බලපෑම් ඇති කළ හැකි තොරතුරු අනවශ්‍ය ලෙස ප්‍රචාරය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේය.