පූර්ව ළමාවිය අධ්‍යාපනය විධිමත් හා වෘත්තීයමය ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය සඳහන් කළේ මෙතෙක් පූර්ව ළමාවිය අධ්‍යාපන වැඩසටහන් බොහෝ අවස්ථාවල අවිධිමත් හා අසංවිධානාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇති බව පිළිගත යුතු බවයි. එම තත්ත්වය වෙනස් කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නායකත්වයෙන් විධිමත් ප්‍රතිපත්ති, පුහුණු වැඩසටහන් සහ වෘත්තීය ප්‍රමිතීන් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඇය ප්‍රකාශ කරන ලදී.

පූර්ව ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනා සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන බවත්, එම වෘත්තිය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය, ප්‍රතිපත්තිමය මඟපෙන්වීම සහ පුහුණුව ලබාදීම රජයේ වගකීම බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

තවද පූර්ව ළමාවිය අධ්‍යාපනය මෙරට නිල අධ්‍යාපන පද්ධතියේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස ඒකාබද්ධ කිරීම සඳහා රජය සැලසුම් කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.