විනිසුරුවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳ රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, රාජ්‍ය සේවය තුළ අත්දැකීම් සහිත වෘත්තීයවේදීන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පවතින බවයි.
2022-2024 කාලය තුළ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තීයවේදීන් විශාල පිරිසක් විදේශගත වීමත්, රාජ්‍ය සේවයට සුදුසුකම් සහිත පිරිස් බඳවා ගැනීමේදී ගැටලු මතුවීමත් මෙම සාකච්ඡාවට බලපා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ ගොස් ඇති බැවින්, වයස අවුරුදු 60න් පසුද බොහෝ දෙනෙකුට සේවය කිරීමට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.
අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ බවත්, අධිකරණ අමාත්‍යාංශයේ කරුණු දැක්වීම් අනුව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.





