ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධුරය දැරූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

2012 වසරේ සිට වසර 14කට ආසන්න කාලයක් එම ධුරය දැරූ උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ පසුගිය 11 වැනිදා මාතර සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් මහා සංඝ සභාවේදීය.

නායක පදවි ජීවිත කාලය පුරා දරන ගෞරව නාමයක් නොවිය යුතු බව සඳහන් කළ උන්වහන්සේ, සෑම නායක පදවියකටම සීමිත නිල කාලයක් තිබිය යුතු අතර එම කාලය අවසන් වූ පසු සුදුසු හා ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලාට අවස්ථාව ලබාදීම තුළින් තරුණ යතිවරයන්ටද නායකත්වයට පිවිසීමේ ඉඩ සැලසෙන බව ප්‍රකාශ කළහ.

වර්තමානයේ සංඝ නායක පදවි බොහෝවිට බල රහිත ගෞරව නාම බවට පත්ව ඇති බවද සඳහන් කළ උන්වහන්සේ, නිකායේ සහ සාසනයේ යහපත සඳහා ක්‍රියාකාරී වයසේ සිටින භික්ෂූන් වහන්සේලාට නායකත්ව අවස්ථා ලබාදීම වැදගත් බව අවධාරණය කළහ.