සතොස ආයතනයේ පසුගිය කාලයේ එකතු වූ රුපියල් බිලියන 24ක පමණ අලාභයක් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කරන ලද්දේ, සතොස ආයතනයේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීම්වලදී තවත් රුපියල් මිලියන 1,400ක පමණ අලාභයක් හඳුනාගෙන ඇති බවය.

එමෙන්ම සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 14,000ක පමණ මුදලක් ගෙවීමට ඇති බවත්, බැංකු අයිරා ලෙස රුපියල් මිලියන 5,200ක පමණ මුදලක් පැවති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සතොස අලෙවිසැල් 100ක් ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අලාභ ලබන ඇතැම් අලෙවිසැල් වසා දැමීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය. එමෙන්ම මේ වසරේ නව සතොස අලෙවිසැල් 25ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.

අඛණ්ඩව මාස දෙකක් ලාභ ලබමින් සිටින සතොස ආයතනය මේ වසර අවසන් වන විට අලාභයෙන් මිදී ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>