විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නිලධාරීන් ඊයේ (24) දින සොල් නුවරදී හමුවිය.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ විදේශ සහ ගෝලීය රැකියා සඳහා උප සභාපති ලිම් සියුං මූක් (Lim Seung Mook) මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවේදී EPS (Employment Permit System) ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකා–කොරියා රැකියා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමවේදයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සහ පවතින රාමුවෙන් ඔබ්බට සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

කොරියානු භාෂා නිපුණතාවය ශක්තිමත් කිරීම, සේවා ස්ථාන විනය වර්ධනය කිරීම, රැකියා සඳහා පිටත්වීමට පෙර දිශානති සහ තාක්ෂණික පුහුණුව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කුසලතා සංවර්ධනය සඳහා ගැඹුරු ආයතනික හවුල්කාරිත්වයන් ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ගෝලීය අපේක්ෂාවන්ට සරිලන විශ්වසනීය හා වෘත්තීය ශ්‍රම බලකායක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද අමත්‍යවරයා කොරියානු නිලධාරීන්ට අවධාරණය කළේය.