දීර්ඝ කාලයක් තිස්සේ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ, සුදුසුකම් සපුරන ලද 192 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීම අද (18) තැපැල් මූලස්ථානයේ දී පැවති අතර මේ සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්සද සහභාගී විය.

2019 වසරේ සිට වසර 7 ක් තිස්සේ විසඳුම් නොලැබී පැවති මෙම වෘත්තීය ගැටලුව සඳහා කෙටි කාලයක් තුළ කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් ස්ථාවර විසඳුමක් ලබා දීමට හැකි වීම ජයග්‍රහණයක් බව ඔහු සඳහන් කරන ලදී.

එසේම පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාව සඳහා 1955 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ලබන මස තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු බඳවා ගැනීමත් සමග වසර එකහමාරක කාලය තුළ තැපැල් සේවාවට බඳවා ගත් සමස්ත සංඛ්‍යාව 2258 ක් දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා තැපෑල යනු මෙරට ආර්ථිකය හා සෘජුව බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාලමින් රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කිරීමට නව පත්වීම්ලාභීන් කැපවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.