ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අතර දුනු විදීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය (SLAA) අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගිය දින (17) අත්සන් තැබීය.

මෙම ගිවිසුමට අනුව, දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විධිමත් දුනු විදීමේ පුහුණු වැඩසටහන්, පුහුණුකරුවන් සවිබල ගැන්වීමේ වැඩමුළු සහ සහජ කුසලතා සහිත යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ ජාතික යොවුන් සේනාංකයේ යෞවනයින් වෙනුවෙන් පැවැත්වෙන සියලුම පුහුණු සැසි, වැඩමුළු සහ තාක්ෂණික දායකත්වය පූර්ණ ස්වේච්ඡා පදනම මත නොමිලේ ලබාදීමට ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය එකඟතාව පළ කර තිබීමයි.

එමෙන්ම, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සහයෝගය ඇතිව නුවරඑළිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල “ජාතික ඉහළ කාර්යසාධන දුනු විදීමේ පුහුණු මධ්‍යස්ථානයක්” ලෙස සංවර්ධනය කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම්, පුහුණු පරිශ්‍ර සහ පරිපාලනමය සහාය ජාතික යොවුන් සේනාංකය විසින් සපයන අතර, ලෝක දුනු විදීමේ සම්මේලනයේ නීතිරීතිවලට අනුකූල තාක්ෂණික මඟපෙන්වීම, පුහුණුකරුවන් අනුයුක්ත කිරීම සහ පුහුණු සැලසුම් සම්පාදනය ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය මඟින් සිදු කරනු ඇත.

ඉදිරි වසර පහක කාලයක් සඳහා බලාත්මක වන මෙම ගිවිසුම, ග්‍රාමීය හා නාගරික තරුණ තරුණියන්ට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නංවා ගනිමින් දුනු විදීමේ ක්‍රීඩාවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ ඉහළ ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා විවර වූ ස්වර්ණමය අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.