වත්මන් රජය රාජ්‍ය සේවය රටේ “දහවන බලවේගය” බවට පත් කළ යුතු බව විශ්වාස කරන බවත්, එම අරමුණ වෙනුවෙන් නව රාජ්‍ය සේවකයින් 76,000ක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසීය.

නව රාජ්‍ය සේවකයින් අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අතීතයේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් බොහෝවිට දේශපාලන හිතවත්කම් මත සිදු වූ බවට ජනතාව අතර මතයක් පැවති නමුත්, වත්මන් රජය සුදුසුකම් පදනම් කරගත් බඳවා ගැනීම් පිළිබඳ විශ්වාසය තබන බවයි.

එමෙන්ම චීනය සහ ජපානය වැනි රටවල රාජ්‍ය සේවකයින් කැපවීමෙන් හා කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අසතුටට හේතුව අලසභාව, ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව බව ද සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අත්දැකීම් ද සිහිපත් කළ අමාත්‍යවරයා, නිලධාරීන්ට ලබාදුන් උපදෙස් ලෙස සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරු ලබාදිය යුතු බවයි.

නව රාජ්‍ය සේවකයින් වෙත අවසාන වශයෙන් පණිවුඩයක් ලබාදුන් අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ, තම වෘත්තීය ජීවිතය තුළ කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කරමින් රටට සේවය කිරීම තුළින් “සුන්දර රටක් සහ ලස්සන ජීවිතයක්” ගොඩනැගීමට දායක වන ලෙසයි. එමෙන්ම රාජ්‍ය සේවය තුළ ඉහළ තනතුරු දක්වා ඉදිරියට යාමේ අවස්ථා ඔවුන්ට පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>