ඉහළ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් නොපිරවීම සම්බන්ධයෙන් පැනනැගී ඇති තර්කයන් පිළිබඳව කරුණු දක්වමින් නීතිඥ අකලංක උක්වත්ත මහතා ප්‍රකාශ කළේ, අදාළ පාර්ශ්වයන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පළමුව සම්පූර්ණ නොකරන්නේ මන්ද යන්න බවයි.
නඩු කටයුතු කඩිනම් කිරීමේ සැබෑ අවශ්‍යතාවක් පවතින්නේ නම්, ප්‍රමුඛතාව ලබා දී එම ඉහළ අධිකරණවල පුරප්පාඩු පිරවිය යුතු බවට ඔවුන් තර්ක කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, එහිදී මතුවන ප්‍රායෝගික ගැටලුව පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ ඉහළ අධිකරණ සඳහා විනිසුරුවරුන් අනුයුක්ත කිරීමේදී පහළ අධිකරණවල දැනට සේවය කරන පිරිස් උසස් කර යැවීමට සිදුවන බවයි. එමගින් පහළ මහේස්ත්‍රාත් අධිකරණවල පවතින විනිසුරු හිඟය තවත් උග්‍ර වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වර්තමානය වන විටත් මහේස්ත්‍රාත් අධිකරණවල පුරප්පාඩු 65ක් පමණ පවතින අතර, ඒ සඳහා අයදුම්පත් කැඳවූ විට අධිකරණ සේවා කොමිෂන් සභාවට තෝරාගැනීමට හැකිව ඇත්තේ සුදුසුකම් ලත් 33 දෙනෙකු පමණක් බව ද ඔහු අනාවරණය කළේය. ඒ අනුව, තවත් 30කට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාවක් තවදුරටත් පවතින බව ඔහු අවධාරණය කළේය.
මෙවැනි පසුබිමක් හමුවේ, දැනට තෝරාගෙන සිටින 33 දෙනා වෙත නිල පත්වීම් ලබාදීමෙන් අනතුරුව ඉහළ අධිකරණවල පුරප්පාඩු ද කඩිනමින් පිරවීමට රජය එකඟතාව පළ කර ඇති බව ඔහු පැවසීය. එමගින් සමස්ත අධිකරණ පද්ධතිය තුළම පවතින අසමානතාවන් සහ ගැටලුකාරී තත්ත්වයන් අවම මට්ටමකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එසේම, නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, දැනට ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු සංඛ්‍යාවෙන් ලක්ෂ 8ක්ම පවතින්නේ මහේස්ත්‍රාත් අධිකරණවල බවයි. එබැවින් මහේස්ත්‍රාත් අධිකරණවල පවතින විනිසුරු හිඟයට කඩිනම් විසඳුම් නොලැබුණහොත් නඩු ගොඩගැසීමේ අර්බුදය තවදුරටත් සංකීර්ණ වන බව සඳහන් කළ ඔහු, රජය මේ වන විට සියලු අධිකරණවල පුරප්පාඩු සමබර ලෙස පිරවීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට විශ්වාසය පළ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>



