ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ කැනේඩියානු මහ කොමසාරිස්වරිය අතර ඊයේ (18) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ නිල හමුවේදීය.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ප්‍රගතිශීලී පියවර සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය සිය ප්‍රශංසාව පළ කළාය.
එමෙන්ම දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද වාතාවරණය වැනි අභියෝග හමුවේ වුවද ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ද ඇයගේ ඇගයීමට ලක් විය.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳව අමාත්‍ය උපාලි පන්නිල මහතා මහ කොමසාරිස්වරිය දැනුවත් කළ අතර, එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කැනේඩියානු රජය සූදානම් බව ඇය සඳහන් කළාය.

වැඩිහිටි පුද්ගලයන් සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද මහ කොමසාරිස්වරිය එකඟතාව පළ කළාය.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.