“පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර” තේමාව යටතේ ක්‍රියාත්මක “අත්තම ජාතික පවිත්‍රතා” වැඩසටහන අද (08) දිවයින පුරා ආරම්භ කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක මෙම වැඩසටහනේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වැඩසටහනද අද නිල වශයෙන් ආරම්භ විය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහනේදී පොදු ස්ථාන පවිත්‍ර කිරීම, මාර්ග හා කාණු පද්ධති පිරිසිදු කිරීම සහ අතහැර දමා ඇති පොදු පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු කටයුතු සිදු කෙරේ.
ඒ අනුව කොළොන්නාව වැඩසටහන යටතේ වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත සහ 510 ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශ කිහිපයක පවිත්‍රකරණ කටයුතු සිදු කෙරිණි. අවදානම් ගස් ඉවත් කිරීම, ක්‍රීඩා පිටියක් පිරිසිදු කිරීම, අතහැර දමා ඇති මහල් නිවාස පරිශ්‍රයක් සහ කාණු පද්ධති පිරිසිදු කිරීමද ඊට ඇතුළත් විය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කරන ලද්දේ, ජාති, ආගම් සහ පක්ෂ භේදයකින් තොරව ජනතාව, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය එක්ව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවය.









