අම්බලන්ගොඩ, කන්දෙගොඩ කුරුඳුවත්ත මාර්ගයේදී රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ විදේශගතව සිටින ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (14) දහවල් කාලයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 101යි මිලිග්‍රෑම් 300ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

කන්දෙගොඩ දුම්රිය නවාතැන්පොළ පිටුපස ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කිරීම සඳහා සැකකරු රැඳී සිටින බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වීමත් සමඟ පලායාමට උත්සාහ කළ සැකකරු, වැටලීමට එක්ව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පසුපස හඹා ගොස් අල්ලාගෙන ඇත.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් 39 හැවිරිදි කන්දෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරු, පංච පුද්ගල ඝාතන සිද්ධියකට සම්බන්ධව දැනට විදේශගතව සිටින “ජයසේකර චූටි” නැමැති පාතාල නායකයාගේ මත්කුඩු ජාලයට සක්‍රීයව සම්බන්ධ අයෙකු බවයි. විශේෂයෙන්ම, සැකකරු මීට පෙර ද මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවට බලපිටිය මහාධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටියදී යළිත් මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15) දින බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.