මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) දින පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කෙරිණි.

මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට මුහුණ දීමේදී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බව ජනපති ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මතු වන නව තත්වයන් පිළිබඳ නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් පෙන්වා දුන් අතර දැනට ක්‍රියාත්මක ඩිජිටල් කේත ක්‍රමය යටතේ මින් පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්ට මතු වී ඇති බාධා කඩිනමින් මග හරවාගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද ඒකාබද්ධ කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු වන නව තත්ත්වයන්ට මුහුණ දීමේදි ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

මතු වී ඇති නව තත්ත්වය පසුගිය කොරෝනා සමයේ තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක් බවත් එබැවින් නව තත්ත්වයට ගැලපෙන ලෙස විකල්ප ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන් ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේද බලාත්මක කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා විය.