සමස්ත ලංකා බන්තු රේඛණ ශිල්පීන්ගේ සංගමයේ (All Ceylon Cardiographers Union) වෘත්තීකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එම සංගමයේ සාමාජික පිරිසකගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වූයේ අමාත්‍ය නලින්ද ජයතිස්සගේද සහභාගීත්වයෙනි.

රෝහල් පද්ධතිය තුළ බන්තු රේඛන ශිල්පීන් මුහුණ දෙන කාර්ය මණ්ඩල හිඟය, වැටුප් පරිමාණ, නිල නාමයන් සහ පුහුණු කටයුතු ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, එම සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටළුවලට සාධනීය විසඳුම් ලබාදීමට සහ අදාළ නිශ්චිත එකඟතාවයන්ට පැමිණීමට ද මෙම සාකච්ඡාවේ දි හැකියාව ලැබුණි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා, බන්තු රේඛන ශිල්පී පුහුණු පාසල තවදුරටත් වැඩිදියුණු කර මෙම වසර තුළදීම වැඩි ශිල්පීන් සංඛ්‍යාවකින් යුත් අභ්‍යාසලාභීන් කණ්ඩායමක් කඩිනමින් පුහුණුව සඳහා බඳවා ගැනීමට මෙහිදී තීරණය කෙරුණි.