ප්‍රජා සබලගැන්වීම් නිලධාරී තනතුර වසර තුනකට සීමාවූ තාවකාලික තනතුරක් නොව, අඛණ්ඩව පවතින ස්ථිර ස්වභාවයේ තනතුරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කළේය.
ඔහු පැවසුවේ, වසර තුනින් තුනට සංශෝධනය වන්නේ ප්‍රජා සංවර්ධන සභාව වන අතර, ප්‍රජා සබලගැන්වීම් නිලධාරී තනතුර එසේ සීමා නොවන බවත් එම නිසා අදාළ නිලධාරීන්ට සිය තනතුර පිළිබඳව පවතින අවිනිශ්චිතතාව ඉවත් කරගත හැකි බවත්ය.
එමෙන්ම, ප්‍රජා සබලගැන්වීම් නිලධාරීන්ගේ දීමනා සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ප්‍රතිපූර්ණ පදනම යටතේ සන්නිවේදන දීමනාව මේ වන විටත් ලබාදෙන බව කියා සිටියේය.
තවද, ප්‍රජා සබලගැන්වීම් නිලධාරීන් සඳහා විධිමත් උසස්වීම් පටිපාටියක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් කළ චන්දන සූරියආරච්චි මහතා, ප්‍රාථමික තනතුරේ සිට පරිපාලන මට්ටමේ තනතුරු දක්වා උසස්වීම් සඳහා මාර්ගයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ද පැවසීය.
ඒ අනුව, ප්‍රජා සබලගැන්වීම් නිලධාරී තනතුර උසස්වීම් සහිත වෘත්තීය තනතුරක් බවට පත් කිරීම සඳහා අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඉදිරි කාලය තුළ එම නිලධාරීන්ට සුභවාදී අපේක්ෂාවන් රැසක් උදා වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





