ප්‍රජා ශක්තිමත් කිරීම සහ දිළිඳුභාවය තුරන් කිරීමේ ජාතික ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන්ට ඉතා වැදගත් හා විශාල වගකීමක් පැවරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය.

සමස්ත ලංකා ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරී සංගමය හා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (19) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සම්බන්ධීකරණයෙන් එය සංවිධානය කර තිබිණි. එහිදී ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් මුහුණ දෙන ගැටලු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

වසර 13කට අධික කාලයක් නෛතික රාජකාරී පැවරීමක්, උසස්වීම් පටිපාටියක් හෝ වැටුප් වැඩිවීමක් නොමැතිව සේවය කළ සංවර්ධන නිලධාරීන් සඳහා, රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සියයට 70ක වැටුප් වැඩිවීම ද ඇතුළත් කරමින් විධිමත් උසස්වීම් පටිපාටියක් යටතේ ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් ලෙස ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, ප්‍රජා සංවර්ධන සභා ශක්තිමත් කිරීම, ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සහ සංවර්ධන ක්‍රියාවලියට ජනතාවගේ සෘජු දායකත්වය ලබා ගැනීම සඳහා ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවයි.