මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියම අරමුණු මේ වන විට යථාර්ථයක් බවට පත්වෙමින් ඇති බවත්, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහරයේ සංරක්ෂණ කටයුතු සඳහා රුපියල් කෝටි 18කට අධික මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදනවලින් පමණක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව සංවිධානය කළ, උඩුනුවර වෙලැම්බොඩ ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (19) දින එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් නිසි අරමුණු සඳහා යොදවා තිබුණේ නම් මීටත් වඩා විශාල වැඩකොටසක් සිදු කළ හැකිව තිබූ බවයි.

රජය ජනතාවගෙන් එකතු කරන මුදල් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කර තබා ගැනීම හෝ වෙනත් අරමුණු සඳහා භාවිත කිරීම නොව, ජනතාවට නැවත ප්‍රතිලාභ ලබාදීම සඳහා යොදවන බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇති අතර, නිවාස 15,000ක් ඉදිකිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බව ඇය පැවසුවාය. එම සියලු කටයුතු ණය ලබාගෙන නොව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුළින් සිදු කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

තවද, පරිවර්තනීය යුගයක් කරා රට ගෙන යාම සඳහා ආර්ථික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, උරුමය, සංස්කෘතිය, අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර සමගාමීව සංවර්ධනය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.