කොළඔ 10. කුප්පියාවත්ත ජයශේඛරාරාධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංස යුක්ති මහා නිකායේ මහා නායක අති පූජ්‍ය කොස්ගොඩ ධම්මවංශ මහා නාහිමියන්ගේ හා තලල්ලේ ධම්මාලෝක මහා නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1964 අප්‍රේල් 9 වැනි දින පැවිදි බිමටපත් ගෞරවනීය රජවත්තතේ වප්ප ස්වාමීන් වහන්සේ 1978 දී උපසම්පදා භූමියට පත්වූහ. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා කැලණි විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති ලබා ගුරු සේවයට එක්වුහ.
ගෞරවනීය රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේ නූතන ජාතික සටන්වල සිටි ප්‍රබලතම භික්ෂුවකි.
1996 -97 වන විට මෙරට දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදයට එරෙහිව දකුණේ පාලකයන් නිහඬ දියාරු ප්‍රතිපත්තියක සිටියහ. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ සාකච්ඡා කොට සම්මුතියකට පැමිණ රට බෙදා පාලනය කිරීමට නායක නායිකාවන් පිඹුරුපත් සකසමින් සිටි අවධියේ ඒයට එරෙහිව ජාතික චින්තනය මත පදනම් වූ තරුණ ගිහි පැවිදි සීමිත පිරිසක් ත්‍රස්තවාදයට යුධමය ක්‍රියාමාර්ගය හැර අන් මාවතක් නොමැතිබව පෙන්වා දෙමින් සමාජය දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටි අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි , පාඨලී චම්පික රණවක වැනි පිරිස් මෙහි පුරෝගාමීන් වූහ. ඔහුන්ට කොළඹ කේන්ද්‍රගත වීමට අවශ්‍යතාවය මතුව තිබූ අතර බොහෝ ප්‍රභූ හිමිවරු වැඩ සිටි විශාල විහාරස්ථාන මේ මොහොතේ නෑසූ කන්ව දොරගුළු වසා නිහඩවම සිටියහ. මේ අතර රජවත්තේ වප්ප ස්වාමින් වහන්සේ වැඩ සිටින කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්ථානය අසළ පාසලක් වූ ගෝතමී බාලිකා විද්‍යාලයේ දියණියන් දෙදෙනෙක්ද මරදානේ දී පුපුරා ගිය කොටි බෝම්බයට බිලිවීම රජවත්තේ වප්ප හිමියන් කම්පාවටපත්කල සිදුවීමක් විය. කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ වැඩ සිටි රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ පාඨලී චම්පික රණවක ඇතුළු ජාතිමාමක පිරිසගේ නායතකත්වය සමග එක්ව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ඇරඹීමට ත්‍රස්තවාදයට එරෙහි ජාතිකවාදී පිරිසට කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. ජයශේඛරාරාමය එදා පටන් සියලු දේශප්‍රේමී ත්‍රස්ත විරෝධී, ශාසනමාමක ජනතාවගේ මධ්‍යස්ථානය බවට පත්විය. ජාතික දහම් ගුරු සභාව, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, අපි සිංහල, ජාතික සංඝ සම්මේලය ,සිහළ උරුමය වැනි සංවිධාන බිහිවුවේ ජයශේඛරාරාමය පදනම් කොටගෙනය. විහාරස්ථානය ජාතික සටනේ පොදු මධ්‍යස්ථානයක් බවට පත්කළ වප්ප ස්වාමීන් වහන්සේ ත්‍රස්තවාදයට එරෙහිව මුළු මහත් රටම පෙළ ගැස්වීමට ගම් නියම්ගම් බලා වැඩම කළහ . උන්වහන්සේට පූජා කළ පිරිකර හා දානපතියන්ගේ පරිත්‍යාග එකතු කරගෙන උතුරු නැගෙනහිර යුද හමුදා කඳවුරු හා මායිම් ගම්මාන වෙත වැඩම කර දුක සැප සොයා බලා ඔවුන්ගේ චිත්ත ශක්තිය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළ වැඩ සටහන් වලට කාල තුවක්කු හා වෙඩි ප්‍රහාර මධ්‍යයේ සදහභාගී වූ අපට ඇත්තේ බිහිසුණු මතකයකන්ය.1998 නොවැම්බර් මාසේ කොටිත් ත්‍රස්තවාදීන් නොනවතින රැල්ල ආරම්භ කොට
අපගේ විරෝධාර හමුදාවන්ගේ කඳවුරුවත්පත් කරගනිමින් සිංහල ගම්මාන වල ජනයා පලවා හරිමින් ත්‍රස්තවාදීන් බලවත් තත්ත්වයක පසුවූ අවස්ථාවේ වැලිඔය ජනකපුර ආදි ප්‍රදේශ සිංහල වැසියන් ගම්බිම්වල අසරණව සිටි ඔහුන්ට ශක්තියක් විමට දෑ හිතකාමී පිරිස් සමග එම ප්‍රදේශවවලට වප්ප හිමියන් ලොරි ගණනාවක අත්‍යවශ්‍යා ද්‍රව්‍ය රැගෙන නිර්භයව වැඩම කළහ.
ත්‍රස්තවාදයට හා රට බෙදීමට එරෙහි සත්‍යග්‍රහය, උපවාස, විරෝධතා සියල්ලෙහිම වප්ප හාමුදුරුවෝ ඉදිරිපෙළම සිටියහ . පසු කාලීනව දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනීසිටි වාාමාශික කදවුරේ ප්‍රධානතම මතවාදී සතුරා බවට ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පත්වූයේ එම සංවිධානයේ සංවිධානාත්මක භාවය හා කැපවීම නිසාය. කොටි ඊළාම්වාදීන් සිංහල විරෝධි මතවාදය කෙතරම් බලවත්ව ද යන්න ඊළාම්වාදින් කොළඔ දී පොංගු තමිල් වැඩ සටහන් පැවැත්වීමට කටයුතු කීරීමෙන් පැහැදිළිවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ත්‍රස්තාවාදයට අනුබල දෙමින් රට පෙඩ්රල් රාජ්‍යයක් කීරීමට අවශ්‍ය දේශපාලන පැකේජය ක්‍රියාත්මක කිරීමට සිංහල ජනයාගේ මනස සැකසීම සදහා සුදු නෙළුම, තවලම , පොතයි ගඩොලයි වැනි සිහංල විරෝධි ඊළාම් ගැති වැඩසටහන් විදේශ අධාර ලබා ගනිමින් රට පුරා ක්‍රියාත්මක කළහ. මාරන්තික උපවාස සිදුකරමින් එය පරාජය කිරීමට මුල්වූවේ ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයයි. ත්‍රස්තවාදි මර බිය නැති නිදහස් රටක අප අද ජීවත්වන්නේ එදා රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් මත යැපුණු ගිහි පැවිදි කල්ලි කණ්ඩායම් විසින් " යුද්ධ පුත්‍රයන් " ලෙස හදුන්වමින් කල විවිධ නින්දා අපහාස ,ජීවිත තර්ජන මැද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේ ඇතුළු දේශප්‍රේමී ජාති මාමක පිරිසගේ අනවරත කැපවීම හේතුවෙනි.කොළඹ ප්‍රධාන බෞද්ධ පාසල් දියකර හැරීම ඇතුළු අරමුණු ඇතිව අන්තවාදීන්ගේ මනදොල සපුරාලාමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් ගෙන ආ සම අවස්ථා පණත පරාජය කිරීම සඳහා නොබියව පෙරට වැඩි වප්ප ස්වාමීන් වහන්සේ කළ මෙහෙවර ඒ සඳහා එකතුවූ ජාති මාමක සියලු දෙනාම හොඳින් දන්නා කරුණකි.
චන්ද්‍රකා ආණ්ඩුවේ නාගරික සංවර්ධන අමාත්‍ය මංගල සමරවීර නාගරික සංවර්ධනයට මුවාවෙමින් ආරම්භ කිරීමට සුදානම් වූ කොළඔ නගරයේ පිහිටි බෝගස් කපා ඉවත්කිරීමේ වැඩ සටහන පුංචි බොරුල්ල බෝධින් වහන්සේගෙන්ම අවසන් කීරීමට වප්ප හිමියන් පුම්‍ර තරුණ ස්වාමින් වහන්සේලා සහ දෑ හිතකාමී සාසනමාමක පිරිස සමග පෙරමුණ ගෙන ක්‍රියා කලහ. එම විරෝධතාවය තෙකරම් ප්‍රබලවීදයත් බෝධින් වහන්සේ කපා ඉවත් කරන බවට වහසි බස් දෙඩවූ සිංහල බෞද්ධ විරෝධි දැඩි මතවාදයක සිටි ඇමතිවරයාට පුංචි බොරැල්ල බෝධිප්‍රාකාරය ආණ්ඩුවේ මුදළින් ඉදිකීමට සිදුවිය.
ජාතික සංඝ සම්මේලනයේ සභාපතිවරයා ලෙස බලහත්කාරයෙන් බෞද්ධයන් අන්‍යාආගම් වලට හැරවීමට එරෙහිව බොදු සමුළු රටපුරා සංවිධානය කිරීමට නායකත්වය ලබාදුන් වප්ප හාමුදුරුවෝ
ශ්‍රී ලංකාවේ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පණත් කෙටුම්පත සම්මත කිරීමට වැළැක්වීම සඳහා දුම් කොළ හා මත්ද්‍රව්‍ය සමාගම් විවිධ කූට උපක්‍රම දියත් කරද්දී එයට එරෙහිව මැදිහත් වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොණු කරමින් ජාතියට ජයග්‍රහණ අත්පත් කරදීමට කටයුතු කළහ.
එමෙන්ම බැසිප් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සංවර්ධන යෝජනා ලෙස කරළියට පැමිණි ජෙම්ස් පැකර්ගේ බදු පහසුකම් සහිතව කොළඹ නගරයේ කැසිනෝ ශාලා ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘතියට අවශ්‍ය අනපණත් පාර්ලිමේන්තුවට ගෙනා විට එයට විරෝධය පළ කිරීමට ගිහි පැවිදි සියලුදෙනා එකතු කළේ ජාතියේ අනාගත පරපුර බේරා ගැනීම තම වගකීමබව මැනවින් වටහාගෙනය. එම ව්‍යාපෘතියට එරෙහිවීමට විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන් දැනුවත් කිරීමටත් එය පරාජය කිරීමට සමාජ බලවේග පෙළගැස්වීමට උන්වහන්සේ පෙරමුණ ගත්හ.
සත්ත්ව බිලි පූජා , බියර් සැණකෙළි, ආදී බෞද්ධ සහ සදාචාර විරෝධී විවිධ කුමන්ත්‍රණ කරළියට පැමිණි සෑම අවස්ථාවකම එයට එරෙහිව ජාතික සංඝ සම්මේලනයේ සභාපතිවරයා ලෙස විරෝධතාවය පළකරමින් භික්ෂුන් වහන්සේ සංවිධානය කරමින් නායක්වය ලබාදීමට උන්වහන්සේ කටයුතු කළහ.
සෘජුබව, ප්‍රතිපත්තිගරුක බව, සිංහල විරෝධි හිස් පුද්ගල ප්‍රතිරූප ඉදිරියේ අභීතව නැගී සිටීම උන්වහන්සේගේ චරිතයේ සුවිශේෂි ලක්‍ෂණ වූහ . අයුක්තිය හා අසාධාරණය ඉදිරියේ හිස නොනැමූ අපේ වප්ප හාමුදුරුවෝ විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙකු වුවද ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගයන් ගැනීමට උන්වහන්සේ එය බාධාවක් කර නොගත්හ. අවශ්‍ය විටදී නොභියව කතා කළ උන්වහන්සේ ලොකු කුඩා සෑම දෙනා මෙත් සිතින් ඇසුරු කළහ. ධන බලය ,නිල බලයට වඩා උන්වහනසේ අගය කළේ මනුෂත්වය හා අවංක භාවයයි. ජයසේකරාරාමයට ආගිය සෑම දෙනාටම උන්වහන්සේ හැකි උපරිම ලෙස සංග්‍රහ කළහ. කුල ගෝත්‍ර, නිකාය භේද කිසිවක් නොතැකූහ. වප්ප නාහිමියන් සතා සිව්පාවුන්ට, ගහකොළට දැක්වූ කරුණාව අසීමිතය.විල්පත්තු වන සටනට උන්වහන්සේ ජාතික සංඝ සම්මේලනය හරහා උපරිම ශක්තිය ලබාදුන්නේ එම නිසාය.
පුරා වසර තිහකට ආසන්න කාලයක් පාසල් ගුරුවරයෙකු ලෙස නාගරික පරිසරයේ විවිධ සමාජ ස්ථරයන් සහිත දරුවන්ගේ අධ්‍යාපනය හා විනය සකස් කිරීම වෙනුවෙන් නිරතුරු කැප වී ක්‍රියා කළ ආකාරයත් එමගින් තම අනාගතය වර්තමානයේ සාර්ථක වී ඇතිබව උන්වහන්සේගෙන් අධ්‍යාපන ලද බොහෝ සිසුන් කෘතවේදීව අද ද සිහිපත් කරයි.
මර බියෙන් ජීවත්වූ රටක ත්‍රස්තවාදයට එරෙහිව නින්දා අපහාස තර්ජන මැද කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ජාතියේ ජයග්‍රහණ උදෙසා ජයශේඛරාරමය විවර කොට ජාතිකවාදි කදවුරට සෙවන සැලසූ රට දැය සමය වෙනුවෙන් නිරතුරු කැපවුණු ජාතික සංඝ සම්මේලනයේ හිටපු සභාපති අපවත් වී වදාළ ගෞරවනීය රජවත්තේ වප්ප අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.







