දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 997.84ක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති 786ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය විය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 263ක් සඳහා රුපියල් මිලියන 296.19ක්ද, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 286ක් සඳහා රුපියල් මිලියන 543.22ක්ද වෙන් කර ඇති බව සඳහන් විය.

“ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ දිවයින පුරා ව්‍යාපෘති 15,646ක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 22,425ක මුදලක් වෙන් කර ඇත.

2026 අයවැයෙන් මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 25,000කි.

සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙසත්, රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.